බලය බෙදීමෙන් ලෝකෙ කිසි රටක් කැඩී වෙන්වී නැහැ – සිවාජි ලිංගම්

Category: Discussions 47 0

උතුරේ සංවර්ධනයට රජයෙන් ඉටුවන සේවය, ආවා නමැති අපරාධ කල්ලිය, අලුත් ව්‍යවස්ථාව, මහවිරු සැමරුම ආදී කරුණු රැසක් පිළිබඳ අදහස් දක්වමින් උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ඒ.එම්.කේ. සිවාජිලිංගම් එහා ඉවුරට එක්වේ.

Loading...

* උතුරේ සංවර්ධනය වෙනුවෙන් වර්තමාන රජය දියත් කරනු ලබන සංවර්ධන වැඩසටහන් ගැන ඔබ දකින්නේ කොහොමද?

යුද්ධය ඉවර‍ෙවලා අවුරුදු හතහමාරක් ගතවෙලා මෙතෙක් රටපාලනය කරපු ආණ්ඩු දෙකම උතුරේ ජනතාවගේ වුවමනාවන් නිසි පරිදි ඉටුකර නෑ කියන එකයි මගේ අදහස. මේ ආණ්ඩු දෙකම මුකුත් කළේ නෑ කියලා මම කියන්නේ නෑ. පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. ඉන්දියන් රජයත් උතුරේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දී තිබෙනවා. ඊට අමතරව ඩයස් පෝරාවත් සුළු සුළු වැඩටිකක් කරලා තියෙනවා. උතුරේ ජනතාවට මෙතෙක් කරපු මේ වැඩ ටික ඔක්කොම ගත්තත් අලියගේ බඩගින්නට දිවුල් ගෙඩියක් දුන්නා වගෙ තමයි.

* ඔබේ විශ්වාසය අනුව උතුරේ ජනතාව වෙනුවෙන් රජය කඩිනමින් ඉටුකළ යුත්තේ මොනවාද?

පළමුවෙන්ම ජනතාවට ජීවත්වෙන්න ඉඩම් බෙදලා දිය යුතුයි. පසුගිය කාලය පුරාම උතුරු නැ‍ඟෙනහිර පළාත් හැරෙන්නට අනෙකුත් සියලු පළාත්වල රජය ඉඩම් කච්චේරි තියලා කොච්චර ඉඩම් ප්‍රමාණයක් ජනතාවට බෙදා දීලා තියෙනවාද? උතුරේ ජනතාව වෙනුවෙන් තවම මේ දෙය හරිහැටි ඉටු කරලා නෑ. ඒ වගේම යුද්ධය නිසා වැන්දඹු වූ පිරිසටත් ආබාධිත වූ පිරිසටත් මවුපියන් අහිමි වී අසරණ වූ දරුවන්ටත් විශේෂ සුබසාධන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙන්න ඕනා. උතුරේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලෙස නව කර්මාන්ත ශාලා උතුරේ ස්ථාපිත කරන්න ඕන. මේවා කඩිනමින් ඉටුකළයුතු කාර්යයන් අතර ප්‍රමුඛ වෙනවා.

* රටේ සංහිඳියාව ඇතිකිරීමට ලබා දිය යුතු දේශපාලන විසඳුම ලෙස ඔබ දකින්නේ.

අද අපි හැමෝම එකඟවෙලා තියෙන එක රටක් තුළ බලය බෙදීම කළයුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.

* ඔබ දකින විදිහට මේ බලය ‍බෙදීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය ගැන කිවුවොත්

මේ සඳහා වඩාත් සුදුසු පෙඩරල් ක්‍රමයයි. බලය බෙදීම වඩාත් හොඳින් කළ හැක්කේ ෆෙඩරල් ක්‍රමය තුළයි. මේ සඳහා දකුණේ ජනතාව බිය විය යුතු නෑ. දැන් පළාත් සභා යටතේ සුළු ප්‍රමාණයකට බලය බෙදලා තියෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍රවලට බලපාන ගැටලු අදාළ පළාත් සභා තුළම විසඳා ගන්න හැකියාව තියෙනවා. උතුරු මැද පළාතේ අධ්‍යාපන ගැටලුවක් විසඳා ගන්න කොළඹට එන්න ඕනෑ නෑ.

අනුරාධපුරයෙන්ම ඒක විසඳගන්න පුළුවන්. මේ බලය බෙදීම උතුරට විතරක් නොවෙයි සමස්ත ලංකාවේම ක්‍රියාත්මක කළ යුතුයි. මධ්‍යම රජයට ජාතික ආරක්ෂාව විදේශ කටයුතු ආදී යම් බලතල ප්‍රමාණයක් තබා ගත හැකියි. අපි මේ බලය බෙදීම තුළ උතුරට වෙනම හමුදා ඉල්ලන්නේ නෑ. රටක් ලෙස අපට සිටිය යුත්තේ එක හමුදාවක් පමණයි. ඒ යුධ ගුවන්, නාවික, ලෙස වර්ග කළාට ඒවා ඔක්කොම ශ්‍රී ලංකා හමුදාවයි.

ඉඩම් බලතල, පොලිස් බලතල වැනි දේ මධ්‍යම රජය සමඟ සාකච්ඡාකොට පළාත්සභා සඳහා ලබා දියයුතුයි. රටක් ලෙස සංවර්ධනය වීමට එය වැදගත්. බලය බෙදීමෙන් ලෝකයේ කිසිදු රටක් කැඩී වෙන්වෙලා නෑ. ඇමරිකා එක්සත් ජනපදය කැනඩාව, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ රටවල් මේ බලය බෙදීම නිසා වඩාත් ශක්තිමත් වෙලා තියෙනවා.

* උතුරේ ජනතාවගේ විරැකියාව ගැන ඔබ කතා කළාම උතුරේ ජනතාවගේ ප්‍රධාන ජීවන උපායන් අතරින් එකක් වන ධීවර කර්මාන්තයේ ගැටලු ගැන නිහඬ ඇයි.

උතුරේ දේශපාලඥයින් ලෙස අපි මේ ගැන නිරන්තරයෙන් කතා කරනවා. හැබැයි මේක අපිට විතරක් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි. මේක රටවල් දෙකක ධීවරයන් දෙපිරිසක් අතර ගැටලුවක්. මේ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත්විය යුතුයි. තමිල්නාඩු ධීවරයන් සහ ලංකා ධීවරයන් අතර මුහුද මැද ගැටුමකට නොයැවීම රටවල් දෙකේම වගකීමක්.

* නමුත් උතුරේ ධීවරයෝ කියන්නේ T.N.A එක තමිල්නාඩුවට විරුද්ධව කටයුතු කරන්න කියා කතා කරන්නත් බයයි කියලයි මේ කාරණය ඇත්තද?

එහෙනම් මොකටද අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහත්තයා රජයේ නියෝජිතයන් පිරිසක් සමඟ මේ ගැන කතාකරන්න ඉන්දියාවට ගියේ. එතකොට තමිල්නාඩුව අපිත් එක්ක තරහා වෙන්නේ නැද්ද?

* උතුරු පළාත් සභාවේ බලය ඔබේ පක්ෂයට ලැබුණත් උතුරේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න විශේෂ වැඩපිළිවෙළක් තවම ක්‍රියාත්මක නෑ නේද?

උතුරු පළාත් සභාවට තියෙන බලය අනුව තමයි අපිට වැඩකරන්න පුළුවන්. මධ්‍යම රජයෙන් ලැබෙන මුදල් යොදවලා තමයි මේවා ක්‍රියාත්මක කරන්නේ. විදේශ රටවලින් සෘජුවම ආධාරයන් පළාත් සභාවට ගන්න බෑ. ඒවා මධ්‍යම රජයේ අනුමැතිය යටතේ අපි උතුරේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්න සූදානම්. පසුගිය වසර තිහ පුරාම විධිමත්ව සංවර්ධනය නොවුණු උතුරු පළාත සංවර්ධනය කරන්න විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි.

මේ නිසා අපි ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් ලබාගන්න ඉල්ලීම් කරලා තියෙනවා. ලබන වසරේ පළාත් සභා සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ. මේ අවුරුද්දේ උතුරු පළාත වෙනුවෙන් ඉල්ලූ මුදල් ප්‍රමාණයෙන් 1/3ක් තමයි ලැබුණේ. ඒ මුදලත් ලැබිලා තියෙන්නේ පේපර් වලින් තමයි. මේ නිසා අද උතුරු පළාත් සභාවට කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම ගැටලුවක් වෙලා. මේකයි ඇත්ත තත්ත්වය.

* ඔබ කියන්නේ මධ්‍යම රජය උතුරු පළාත වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලද?

ඔව් එහෙම කළ යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ. එහෙම නැතිව මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න පළාත් සභාවට විතරක් විසඳන්න බෑ. අපි අනෙක් පළාත් සභාවල තියෙන ප්‍රධාන අමාත්‍ය අරමුදල උතුරු පළාතේ ආරම්භ කරන්න කියලා අපි ඉල්ලීම් කළේ. මේ ගැන අපි හිටපු ආණ්ඩුකාර මේජර් ජනරාල් චන්ද්‍රසිරි මැතිතුමාගෙනුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් ඉල්ලීම් කළා. ක්‍රියාත්මක වුණේ නෑ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලීම් කරලා බලාගෙන ඉන්නවා. තවම ඒ ඉල්ලීමට ඉඩ ලැබිලා නෑ.

මෙහිදී අප බලාපොරොත්තු වුණේ විදේශ රටවල ඉන්න පිරිසගේ මුදල් පරිත්‍යාග ශ්‍රී ලංකා මහබැංකුව හරහා උතුරු පළාත් සංවර්ධනයට යොදා ගන්නයි. එහෙම නැතිව අපිට ආයුධ ගන්න නොවෙයි. රජයට මේ වැඩපිළිවෙළ විධිමත්ව ක්‍රියාත්මක කළ හැකියි. රජයේ විගණකාධිපතිවරයාගේ පාලනය යටතේ මේ අරමුදල බොහොම විනිවිදව පවත්වාගෙන යා හැකියි.

මේ තුළින් යුද්ධයෙන් අසරණ වුණු උතුරේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කළ හැකියි. නමුත් මේ සඳහා අනුමැතිය ලබා දෙන්න රජය අනවශ්‍ය ලෙස කාලය කා දැමීම නිසා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න නොහැකි වෙලා. මෙහෙම ගියොත් උතුරේ ජනතාවට මේ ආණ්ඩුව ගැනත් තියෙන බලාපොරොත්තු බිඳ වැටෙනවා. අහිංසක ජනතාවගේ උවමනාවන් ඉටුකරන්නේ නැතිව මේ ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය සමරන්න උතුරේ අපට බැරිවේවි. එදාට අපට කලු කොඩි දාලා විරෝධය පළ කරන්න සිදුවේවි.

* උතුරේ මහවිරු දිනය සැමරීම රටේ ගොඩනැ‍ඟෙන සංහිඳියාවට බාධාවක් නොවෙයිද?

මිය ගිය අය සිහිපත් කළා කියලා රටේ සංහිඳියාවට බාධාවක් ඇතිවෙන්නේ කොහොමද? අවස්ථා ගණනාවකදීම JVPය මේ රජයට විරුද්ධව සන්නද්ධ අරගල කළා. හමුදාව පොලිසිය, දේශපාලන නායකයෝ, ජනතාව මේ නිසා ඝාතනය වුණා.

නමුත් අද ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට යොමුවෙලා. හැම අවුරුද්දකම නොවැම්බර්13 වැනිදා ඉල් මහවිරු සමරුව පවත්වනවා. ඒ අයට ඒ අයිතිය තියෙනවා නම් අපටත් ඒ අයිතිය හිමිවිය යුතුයි. TNA එක කියන්නේ සන්නද්ධ ව්‍යාපාරයක් නොවෙයි. රටේ පවතින නීති රීති කැඩීමක් නැතිව මිය ගිය අය සමරනවා කියන්නේ නීති විරෝධී වැඩක්ද? උතුරේ වුණත් දකුණේ වුණත් මිය ගිය අය සමරන්න හැමදෙනාටම අයිතියක් තියෙනවා. අපි මේ මාසේ 27 වැනිදා මහ විරු දිනය සමරනවා.

* උතුරේ ක්‍රියාත්මක වූ “ආවා” කල්ලිය පිළිබඳ ඔබ දරන අදහස කුමක්ද?

ලෝකයේ හැමරටකම පාතාලය ක්‍රියාත්මක වෙනවා. අපේ රටේත් විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් විවිධ පාතාල කල්ලි ක්‍රියාත්මක වෙනවා. එවැනි කණ්ඩායම් උතුරේ ඇතිවෙන්න බැරිද? මේවාට විවිධ නම් දෙමින් ජනප්‍රිය කරනවාට වඩා වැදගත් වන්නේ ආරම්භක අවදියේම මේවාට එරෙහිව විධිමත්ව නීතිය ක්‍රියාත්මක කිරීමයි.

මේවාට විදේශ රටවලින් මුදල් ලබා දෙන බව ඇතැමුන් කියනවා. කඩුවක් අරගෙන ගිහිල්ලා කෙනෙකුට පහර දෙන්න විදේශ රටවලින් මුදල් ඕනෑද? නමුත් ඇත්තටම මෙවැනි ක්‍රියාකාරකම්වලට බලපාන එක සාධකයක් තමයි දෙමළ සිනමාව. දෙමළ සිනමා පටවල කමිසය යටින් කඩුවක් හංගාගෙන මෝටර් බසිසිකල්වල යන දර්ශන ඕනෑ තරම් තියෙනවා. මේ කල්ලිවලටත් මෙවැනි දර්ශනද යම් පිටුවහලක් වෙලා ඇති.

* උතුරේ දේශපාලනඥයින් උතුරේ ජනතාවගේ සැබෑ වුවමනාවන් වෙනුවෙන් පෙනී නොසිටින බවට නැගෙන චෝදනාව ගැන ඔබේ අදහස.

මම ඔබ සමඟ මෙතෙක් කතා කළේත් ඒ ජනතාවගේ සැබෑ වුවමනාවන් ගැන තමයි. ඔය චෝදනාවට මම අයිති නෑ. නමුත් එහෙම දේශපාලනඥයින් බොහොම සුළු පිරිසක් ඇති. අපි හැම මොහොතකම උතුරේ අහිංසක මිනිසුන් වෙනුවෙන් කටයුතු කරනවා. අපි වැඩ කරන්නේ ඒ අයගේ පාලකයන් විදිහට නොවෙයි සේවකයන් විදිහටයි.

* උතුරු නැගෙනහිර ප්‍රදේශ ඒකාබද්ධ කිරීම ගැන ඔබේ අදහස කිවුවොත්.

එක්සත් රටක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙකම ඒකාබද්ධ කළ යුතුයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක 1957 ඉඳලා බණ්ඩාරනායක මහත්තයාත්, චෙල්වනායගම් මහත්තයත්, ඩඩ්ලි සේනානායක මහත්තයත් පිළිගත්තු අදහසක්.

* නැගෙනහිර පළාත තුළ‍ දෙමළ ජනතාව සමඟ සිංහල හා මුස්ලිම් ජනතාවත් සම සමව ජීවත්වෙනවා. නැගෙනහිර පළාත උතුරු පළාතට ඒකාබද්ධ කිරීම මේ ජනතාවට කරන අසාධාරණයක් නේද?

දැන් නැගෙනහිර පළාතේ සිංහල ජනතාව ඉන්නේ 25%ක් විතර. දෙමළ මුස්ලිම් ජනතාව සම සමව ඉන්නවා. මේ පළාත් දෙක එකතුකළා කියලා උතුරු නැගෙනහිර ජීවත්වන සිංහල හෝ මුස්ලිම් ජනතාවට කිසිදු වෙනසක් වෙන්න බෑ. ඒ අයටත් දෙමළ ජනතාවට තියෙන අයිතිය ලබා දිය යුතුයි කියලා අපි පිළිගන්නවා. ඒ වගේම උතුරු නැගෙනහිරින් පිට ජීවත්වන දෙමළජනතාවටත් ඒ ප්‍රදේශවල නිදහසේ ජීවත්වීම අයිතිය තියෙන්න ඕනෑ.

උතුරු නැගෙනහිර පළාතේ හින්දු භක්තිකයන් 65%ක් ජීවත් වෙනවා. නමුත් අපි උතුරු පළාත් සභාවට මේ යෝජනාව ඉදිරිපත් කරන කොටම කිවුවේ හින්දු ආගමට වගේම බෞද්ධ, ඉස්ලාම් සහ කතෝලික කියන හැම ආගමකටම සම අයිතියක් ලැබිය යුතුයි කියලයි. අපි කවදාවත් උතුරු නැගෙනහිර සුළුතර සිංහල, හෝ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් කරන්නේ නෑ.

* නැවත උතුරේ සන්නද්ධ අරගලයක් ඇතිනොවෙයි කියන විශ්වාසය ඔබට තියෙනවාද?

මේ එක්සත් ලංකාව ඇතුලේ අලුත් ව්‍යවස්ථාවතුළ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට සාධාරණ විසඳුමක් ලබා දිය යුතු වෙනවා. එසේ නොවුණහොත් 71 දකුණේ ඇතිවූ කැරැල්ල නැවත 88 – 89 දී ඇතිවුණ වගේ තව අවුරුදු 25ක් යන කොට උතුරේ සන්නද්ධ අරගලයක් මතු නොවේවි කියලා අපිට කියන්න බෑ. නමුත් ස්ථිර වශයෙන්ම වර්තමාන සමාජය යුද්ධයේ ආදීනව හොඳින් අත්වින්දා. ඔවුන් නැවත ආයුධ අතට ගන්න සිහිනෙකින්වත් සිතන්නේ නෑ. මේ ජනතාව නැවත වතාවක් රවට්ටන්නේ නැතිව කටයුතු කරන්නකියලා දකුණේ සිංහල ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. අනාගතයේ නැවත අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීම වැලැක්වීමේ වගකීම තියෙන්නේ අද ජීවත්වන අපටයි.

 

Loading...

Related Articles

Add Comment